රජරට පිහිටි වැව් ආශ්‍රිතව පොකුණු නිර්මාණය කර ක්‍රියාත්මක වන විසිතුරු සුරතල් මත්ස්‍ය කර්මාන්තය මේ වන විට ගැටලු රැසකට මුහුණ දෙමින් පවතින බව කර්මාන්තකරුවෝ පවසති. දේශීය හා විදේශීය වෙළෙඳපොළට මත්ස්‍යයන් සැපයූ මෙම කර්මාන්තය පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු ලෙස පසුබෑමකට ලක්ව ඇති බව ඔවුහු සඳහන් කරති.
මත්ස්‍ය ආහාර, ඖෂධ, ජල පෙරහන් උපකරණ, ඔක්සිජන් සිලින්ඩර් සහ අනෙකුත් ආනයනික උපකරණවල මිල ඉහළ යෑම නිසා නිෂ්පාදන වියදම් විශාල ලෙස වැඩි වී තිබේ. එමෙන්ම විදුලි ගාස්තු ඉහළ යෑම හේතුවෙන් ජල පොම්ප, වායු සම්පීඩක සහ පෙරහන් පද්ධති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ද දැඩි අභියෝගයක් වී ඇත. තවද, ගුණාත්මක පැටවුන් ලබාගැනීමේ අපහසුතා, මත්ස්‍ය රෝග ව්‍යාප්තිය, වියළි කාලවල මතු වන ජල හිඟය සහ අධික උෂ්ණත්වය යන ගැටලු ද මෙම කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල කර තිබේ.
නිෂ්පාදිත මත්ස්‍යයන් සඳහා ස්ථාවර වෙළෙඳපොළක් නොමැතිකම ද තවත් ප්‍රධාන ගැටළුවක් වී ඇති බව කර්මාන්තකරුවෝ පෙන්වා දෙති. එහෙත්, මෙම කර්මාන්තය නිසි ලෙස සංවර්ධනය කළහොත් රැකියා අවස්ථා වැඩි කිරීම, විදේශ විනිමය ඉපැයීම සහ රජරට ප්‍රදේශයේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබාදිය හැකි බව ඔවුහු වැඩිදුරටත් පවසති.














