මෙම රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායක වී, මේ මහපොළවටම පස් වන සෑම මිනිසෙකුටම හොඳ ජීවිතයක් උරුම කර දීමේ වගකීම රජය භාරගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
පූනාගල, කබරගල ප්‍රදේශයේ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ **“නවෝදයාගම”** නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. 2023 වසරේ සිදු වූ නායයෑමෙන් නිවාස අහිමි වීම හේතුවෙන් වසර තුනහමාරකට ආසන්න කාලයක් දුෂ්කර හා අනාරක්ෂිත තත්ත්වයක් යටතේ ජීවත් වූ මෙම පවුල් සඳහා පර්චස් 10 බැගින් වූ ඉඩම් සහ වර්ග අඩි 550 කින් යුත් අංගසම්පූර්ණ නිවාස (රුපියල් ලක්ෂ 32 කට ආසන්න පිරිවැයකින්) ඉදිකර දී ඇත. මීට අමතරව, නව නිවාසවල පදිංචි වන සෑම පවුලකටම රුපියල් 175,000 ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ හා මුළුතැන්ගෙයි උපකරණ ද ලබා දී තිබේ.
මෙම උත්සවයේදී ජනාධිපතිවරයා විසින් මලෛයගම් ජනතාව අපේම සහෝදර ජනතාවක් ලෙස සලකා, ඔවුන්ට මේ රටේ පූර්ණ අයිතිය සහ හොඳ ජීවිතයක් ලබා දීමට කටයුතු කරන බවත්, සියවස් ගණනාවක් ඔවුන් ගත කළ ජීවිතය ඔවුන්ගේ දරුවන්ට හිමිකර දීම යුක්ති සහගත නොවන බවත් ප්‍රකාශ කළේය. පසුගිය යුද සමයේදී රට හැර ගොස් ඉන්දියාවේ ජීවත් වන ජනතාවට යළි මෙරටට පැමිණීමට තිබූ බාධා ඉවත් කිරීමට පසුගිය කැබිනට් මණ්ඩලයේදී තීන්දු කළ බවද ඔහු පැවසීය.
එළඹෙන අයවැයෙන් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාව ලබා දී ඇති අතර, ඉදිරියේදී වතු සමාගම් සමඟ ගිවිසුම්වලට එළඹීමේදී මලෛයගම් ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වන වගන්ති එම ගිවිසුම්වලට ඇතුළත් කිරීමට අපේක්ෂා කරයි. අපේ රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින්, සියලු බලය සහිත මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමට අදාළ පනත මේ වසර අවසානයේදී හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බවද සඳහන් කළේය. මීට අමතරව, ඉන්දියානු නිවාස 4,000 ක වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, බණ්ඩාරවෙල සහ හපුතලේ ප්‍රදේශවල ඉදි කරන ලද නිවාසවල පදිංචි ප්‍රතිලාභීන් 163 දෙනෙකු සඳහා සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණි.














