නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වයෙන් පසු හානියට පත් ප්‍රදේශ යළි ගොඩනැගීම සඳහා ඩොලර් බිලියන 4ත් 5ත් අතර මුදලක් අවශ්‍ය වන බව එරට මුදල් අමාත්‍ය ස්වර්නිම් වග්ල් ප්‍රකාශ කර තිබේ. විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ මෙය මූලික ඇස්තමේන්තුවක් පමණක් වන අතර, පාඩු හා හානි තවදුරටත් තක්සේරු කරමින් පවතින බවයි.
මෙම හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් එරට සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව 626ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පුද්ගලයින් 3,700කට අධික පිරිසක් ආරක්ෂිතව මුදාගෙන ඇත. හිමාල කඳුකරයේ ග්ලැසියර කඩා වැටීම හේතුවෙන් නිම්න ප්‍රදේශවලට තවදුරටත් ගංවතුර හටගැනීමේ අවදානමක් පවතින බව භූ විද්‍යා අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. විශේෂයෙන්ම ත්‍රිෂුලි ගංගා නිම්නය ආශ්‍රිතව නව ගංවතුර බියක් මතුව ඇති අතර, නුවකොට් සහ රසුවා දිස්ත්‍රික්කවල 20,000කට වැඩි පිරිසකට ආහාර ආධාරද, 50,000කට අධික පිරිසකට ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ද අවශ්‍ය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.














