පකිස්ථාන හිටපු අගමැති සහ 1992 ලෝක කුසලාන දිනූ ක්‍රිකට් කණ්ඩායමේ නායක ඉම්රාන් සිරගත කර සිටීම සහ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, පකිස්ථාන හිටපු සුපිරි පිතිකරු ජාවෙඩ් මියැන්ඩාඩ් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක් අතරතුර හඬා වැටෙමින් ඔහුව වහා නිදහස් කරන ලෙස ඉල්ලීමක් කර තිබේ. ThePrint සහ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති පරිදි, ‘Narrative’ යූටියුබ් නාලිකාව සමග පැවැති සාකච්ඡාවකදී මියැන්ඩාඩ් මෙම හැඟීම්බර අදහස් පළ කර ඇත.
ඉම්රාන් යනු කිසිසේත්ම දූෂිත පුද්ගලයෙකු නොවන බවත්, අතිශය නීතිගරුක නායකයෙකු වන ඔහුව බන්ධනාගාරගත කර තැබීමෙන් කිසිදු පාර්ශවයකට සේවයක් සිදු නොවන බවත් මියැන්ඩාඩ් පවසයි. ඉම්රාන්ගේ පුතුන් වන සුලෙයිමාන් සහ කාසිම් විසින් සිය පියාගේ ජීවිතයට බන්ධනාගාරය තුළ දැඩි තර්ජනයක් පවතින බවට Sky Sports නාලිකාව හරහා කළ හෙළිදරව්වෙන් පසුව මියැන්ඩාඩ්ගේ මෙම සංවේදී ප්‍රකාශය නිකුත් වී තිබේ. 1992 ලෝක කුසලාන ජයග්‍රහණයේදී තමා සමග කරට කර සිටි සගයා මෙලෙස පීඩාවට පත්වීම තමාට දැඩි සංවේගයක් ගෙනදෙන බවත්, ඔහුව වහා නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසත් මියැන්ඩාඩ් වැඩිදුරටත් ඉල්ලා සිටී.














