මන්නාරම් ද්‍රෝණියේ සිට පානදුර දක්වා වූ මුහුදු තීරයේ විශාල තෙල් සහ ගෑස් නිධි පවතින බවත්, ඉන් ඉතා උසස් තත්ත්වයේ ගෑස් නිධි දෙකක් දැනටමත් සාර්ථක ලෙස හඳුනාගෙන ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
මන්නාරම් ද්‍රෝණියේ කැණීම් කරන ලද ගවේෂණ ළිං හතරෙන් දෙකකම සාර්ථක ලෙස ගෑස් නිධි හමුවී ඇති අතර, ලෝක මට්ටමින් ගවේෂණ ළිං 20-25ක් කැණීමේදී සාර්ථක වන්නේ ළිං 2ක් හෝ 3ක් පමණ වුවද, ශ්‍රී ලංකාවේ මෙම සාර්ථකත්වය සියයට 50ක ඉහළ මට්ටමක පවතින බව ඔහු පෙන්වා දෙයි. මෙම ගෑස් නිධි මුහුදු පතුලේ සිට මීටර් 3,000ක් පමණ ගැඹුරින්, වසර මිලියන ගණනක් පැරණි ලාවා තට්ටුවලට යටවී ආරක්ෂිතව පවතින බව දත්ත මගින් තහවුරු වී තිබේ.
මෙරටට අවශ්‍ය පෙට්‍රොලියම් තාක්ෂණික දැනුම සහිත විද්‍යාඥයන් මෙරට තුළම සිටින බවත්, මෙම ස්වභාවික සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම හරහා මෙරට බලශක්ති අර්බුදයට ස්ථිර විසඳුමක් ලබාගත හැකි බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.















