පොලිස් සේවයට ඉදිරියේදී නව නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අගෝස්තු 29 දින එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.
මානව සම්පත් සහ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් සේවය සඳහා නව නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. දැනට පොලිස් සේවය තුළ නිලධාරීන් 38,000ක පමණ හිඟයක් පවතින අතර, එම හිඟය සහිතව සේවාව පවත්වාගෙන යාමට සිදුව තිබේ. එසේම, වසරකට පොලිස් සේවයෙන් 2,000කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යාම සහ වෙනත් හේතු මත ඉවත් වන බව ද පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















