2028 වසරේ සිට ශ්‍රී ලංකාවට විදේශ ණය ආපසු ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් සමාජයේ පළවන අනතුරු ඇඟවීම් මෙන්ම, කිසිදු ගැටලුවකින් තොරව ණය ගෙවිය හැකි බවට පළවන සහතික කිරීම් යන මත දෙකම වැරදි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙයි. රටේ දළ විදේශ සංචිත ප්‍රමාණය පමණක් සලකා බලා ණය ගෙවීමේ හැකියාව තීරණය කළ නොහැකි බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සංචිත ප්‍රමාණවත්තා තක්සේරු කිරීමේ (ARA) රාමුව මගින් බාහිර ණය බැඳීම්, පුළුල් මූල්‍ය තත්ත්වයන් සහ අපනයන වැනි කරුණු සලකා බැලීම අත්‍යවශ්‍ය වන බවත් ඔහු පෙන්වා දෙයි.
මෙරට දළ නිල විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.5කට පමණ ආසන්න වුවද, ඉලක්කගත සංචිත ප්‍රමාණවත්තා මට්ටම (100%ක ARA මට්ටම) ළඟා කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 12කට ආසන්න සංචිත ප්‍රමාණයක් අවශ්‍ය විය හැකි බව ද සිල්වා මහතා සඳහන් කරයි. කෙසේ වෙතත්, ARA මට්ටම ඉලක්කයට වඩා අඩු වීමෙන් ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම ණය ගෙවීමට නොහැකි වනු ඇතැයි යන්නෙන් අදහස් නොවන බවත්, අනාගත ණය ආපසු ගෙවීමේ හැකියාව බාහිර ආර්ථික කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව සහ විදේශ මුදල් වගකීම් ඇතුළු අනෙකුත් මූල්‍ය සාධක මත රඳා පවතින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.














