ධාතුසේන රජතුමා විසින් කරවන ලද ඓතිහාසික කලා වැව සහ බළලු වැව නිවුන් වැව් පද්ධතිය පවතින දැඩි නියඟය සහ පෝෂක ප්‍රදේශවල පාරිසරික විනාශය නිසා මේ වන විට සීඝ්‍රයෙන් සිඳී යමින් පවතින බව වාර්තා වේ.
රජරට කෘෂිකර්මාන්තයට සහ අනුරාධපුර තිසා වැව දක්වා ජලය ගෙන යන ජය ගඟ පද්ධතියට ප්‍රධාන වශයෙන් ජලය සපයන කලා වැව මෙලෙස සිඳී යාම හේතුවෙන් ප්‍රදේශයේ ගොවි පවුල් දහස් ගණනකගේ ජීවනෝපාය දැඩි අවදානමකට ලක්ව තිබේ. වැවෙහි ජලය සිඳී යාම නිසා කලා වැව ජාතික උද්‍යානයේ වන අලීන්ට මෙන්ම ප්‍රදේශවාසීන්ට පානීය ජල හිඟයකට මුහුණ දීමට සිදුව ඇති අතර, ධීවර කර්මාන්තයට සහ ගව පාලනයටද දැඩි බලපෑම් එල්ල වී ඇත.














