අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම නැවත සමාලෝචනය කර, නව යෝජනාද ඇතුළත් කර ගනිමින් ව්‍යාපෘතියේ කටයුතු මේ වසර තුළදීම ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම නියෝගය ලබා දුන් අතර, ඉන්දීය රජයේ ආධාර යටතේ රුපියල් බිලියන 6.5ක් දක්වා වැඩිදියුණු කර ඇති මෙම ව්‍යාපෘතිය අනවශ්‍ය ලෙස ඇදී යාමට ඉඩ නොදී ලබන මස 15 වන විට සම්පූර්ණ සවිස්තරාත්මක සැලැස්ම සකස් කර අවසන් කරන ලෙස ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී ඇත. පූජා නගරය තුළ හරිත ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම, දුම් පිටවන ඩීසල් වාහන සීමා කර විද්‍යුත් බස් රථ යොදා ගැනීම, බැතිමතුන් සඳහා පහසුකම් සැලසීම සහ පුරාවිද්‍යාත්මක ස්ථාන ‘සජීවී ඓතිහාසික ස්ථාන’ ලෙස සලකා සංවර්ධන කටයුතු සිදු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.














