X-Press Pearl නෞකා අනතුරට අදාළව ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතු වන්දි මුදල් අය කරගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
2025 වසරේදී එවකට අග්‍රවිනිශ්චයකාර මුර්ධු ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පංච පුද්ගල විනිශ්චයකාර මණ්ඩලයක් විසින් X-Press Pearl නෞකා අනතුර හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දු කරමින්, ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ගෙවන ලෙස නියෝග කළ බව ඒ මහතා පෙන්වා දෙයි. එම තීන්දුව ලබා දී වසරකට වැඩි කාලයක් ගතවී තිබුණද, ඇමරිකානු ඩොලර් මිලියන 999ක මුදලක් අය කරගැනීමට රජය අසමත් වී ඇති බව ඔහු සඳහන් කරයි. එබැවින්, වර්තමාන ආණ්ඩුව යටතේ අදාළ වන්දි මුදල අය කරගැනීමට නොහැකි වීම පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
















