ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන සහ රැකියා ප්‍රදර්ශනය ලෙස සැළකෙන EDEX Mid-Year Expo 2026 එළැඹෙන සැප්තැම්බර් 5 සහ 6 යන දිනවල කොළඹ BMICH හිදී පැවැත්වීමට නියමිත අතර, රටේ අනාගත තරුණ පරපුරට උසස් අධ්‍යාපන හා වෘත්තීය මාවත් විවර කර දීමේ ජාතික මෙහෙවර මෙවරත් අතිශය තීරණාත්මක මොහොතක ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මැලේසියානු මහකොමසාරිස් අතිගරු බද්ලි හිෂාම් ආදම් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වන මෙම ප්‍රදර්ශනය වෙත රාජ්‍ය අමාත්‍යාංශ රැසක පූර්ණ අනුමැතිය සහ මෙරට ප්රමුඛ පෙළේ ආයතනික හවුල්කරුවන්ගේ දායකත්වය හිමිවීම මගින් මෙහි ඇති ජාතික වැදගත්කම මනාව තහවුරු වේ. දශක දෙකකට අධික කාලයක් පුරා තරුණ පරපුරේ කුසලතා සහ ගෝලීය වෙළෙඳපොළ ඉල්ලුම එකිනෙක යා කරන ප්‍රධාන වේදිකාවක් ලෙස මෙම උළෙල මේ වන විටත් පුළුල් සමාජීය කතාබහකට ලක්ව තිබේ.
මෙම ප්‍රදර්ශනය හරහා දිවයිනේ කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතන 45 කට අධික සංඛ්‍යාවක්, ප්රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන මෙන්ම ෆින්ලන්තය සහ ජපානය වැනි විදෙස් රටවල ජාත්‍යන්තර ප්‍රදර්ශකයින් එකම වහලක් යටට එකතු වීම අසමසම අවස්ථාවකි. විශේෂයෙන්ම අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට මුහුණ දී සිටින සිසුන්ට මෙන්ම රැකියා අපේක්ෂකයින්ට පාසල් අධ්‍යාපනයෙන් ඔබ්බට ඇති නවීන අධ්‍යාපන මාර්ග, වෘත්තීය සංවර්ධන අවස්ථා සහ රැකියා වෙළෙඳපොළේ සැබෑ අවශ්‍යතා පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මෙය කදිම අවස්ථාවක් සපයයි. මීට අමතරව, EDEX ඉතිහාසයේ ප්‍රථම වතාවට හඳුන්වා දී ඇති ඩිජිටල්කරණය කළ ‘Career Key’ මනෝමිතික පරීක්ෂණය සහ ලංකා වෘත්තීය මාර්ගෝපදේශන සංගමයේ විශේෂඥ උපදේශන සේවා මඟින් තරුණ තරුණියන්ට තම පෞද්ගලික හැකියාවන්ට ගැළපෙන නිවැරදි තීරණ ගැනීමට මඟපෙන්වීමක් හිමිවේ.
ඉදිරි කාලය තුළ ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාව ගෝලීය ශ්‍රම බලකායක් ලෙස සවිබල ගැන්වීම සහ දේශීය ආර්ථිකයට නව කුසලතාවලින් යුත් වෘත්තිකයන් දායක කර ගැනීම සඳහා මෙම ප්‍රදර්ශනය ඉටු කරනු ලබන මෙහෙවර අතිමහත්ය. අධ්‍යාපනයට අමතරව ‘EDUCAST’ පොඩ්කාස්ට් වේදිකාව සහ ‘EDUSPORT’ හරහා ක්‍රීඩාව සහ තර්කානුකූල චින්තනය එකිනෙක යා කරන නවෝත්පාදන ප්රවේශයන් ද මෙවර හඳුන්වා දී ඇති බැවින්, පැමිණෙන පිරිසට ප්‍රායෝගික දැනුමෙන් සන්නද්ධ වීමට අවස්ථාව සැලසේ. සැප්තැම්බර් 5 සහ 6 යන දෙදින තුළ උදෑසන 9.30 සිට සවස 6.00 දක්වා කොළඹ BMICH වෙත පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය විසින් දිවයිනේ සියලුම සිසුන්ට, දෙමාපියන්ට සහ වෘත්තිකයන්ට උණුසුම් අයුරින් ඇරයුම් කරනු ලබයි.














