චීනයේ නායකත්වය සහ තීරණ ගැනීම් වඩාත් “අපේක්ෂා කළ නොහැකි” (unpredictable) මට්ටමකට පත්වෙමින් තායිවානය වටා ගුවන් සහ නාවික සීමාවල බලය තද කිරීමට බීජිං පාලනය කටයුතු කරමින් සිටින බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ වසරික ආරක්ෂක වාර්තාවේ දැක්වේ.
යුක්රේන යුද්ධය මෙන්ම ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වය දෙස බීජිං පාලනය දැඩි අවධානයෙන් පසුවන බව පෙන්වා දෙන තායිවානය, ඇමෙරිකාව මුහුණ දෙන ගුවන් ආරක්ෂක මිසයිල හිඟය, අවි ආයුධ ක්ෂය වීම සහ මිත්‍ර පාක්ෂික සහයෝගයේ පවතින දුර්වලතා පිළිබඳව චීනය අධ්‍යයනය කරමින් සිටින බව සඳහන් කරයි. තායිවාන ද්වීපය වටලමින් බාහිර නාවික හා ගුවන් මාර්ග සම්පූර්ණයෙන්ම අගුළු දැමීමේ (blockade) අභ්‍යාසවල චීනය නිරත වන අතර, හදිසි ප්‍රහාරයකින් තායිවානයේ ගුවන් ආරක්ෂක සහ පාලන මධ්‍යස්ථාන විනාශ කිරීම චීනයේ මූලික ඉලක්කය වී ඇති බව ද එම වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














