ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ අනාගත දිශානතිය තීරණය කරන ජාතික සංචාරක උපායමාර්ගික සැලැස්ම (2026-2031) සහ ගෝලීය ප්‍රවර්ධන ප්‍රචාරණ මාර්ග සිතියම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් දියත් කෙරිණි
ලෝක බැංකුවේ ව්‍යාපෘති පිළියෙල කිරීමේ ප්‍රදාන පහසුකම (GFPP) යටතේ ක්‍රියාත්මක වන මෙම ජාතික වැදගත්කමකින් යුත් උපදේශන ව්‍යාපෘති ද්විත්වය හරහා, ගෝලීය වශයෙන් තරගකාරී, තිරසාර සහ ප්‍රත්‍යස්ථ සංචාරක ක්ෂේත්‍රයක් ගොඩනැඟීමේ අරමුණින් ඉදිරි වසර පහ සඳහා අවශ්‍ය උපායමාර්ගික රාමුව සැකසීම ආරම්භ කර ඇත. ස්පාඤ්ඤයේ Aninver Development Partners සහ ශ්‍රී ලංකාවේ EML Consultants PLC හවුල්කාරීත්වයට පවරා ඇති ජාතික සංචාරක උපායමාර්ගික සැලැස්ම මඟින් ඉල්ලුම සහ සැපයුම් විශ්ලේෂණය, ආයෝජන අවශ්‍යතා ඇගයීම මෙන්ම නියාමන හා ආයතනික ප්‍රතිසංස්කරණ පුළුල් ලෙස සිදු කරනු ලබයි.
ඊට සමගාමීව, ඇමරිකා එක්සත් ජනපදයේ Skift Inc. සහ ශ්‍රී ලංකාවේ MTI Consulting ආයතනවල මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන ගෝලීය ගමනාන්ත සන්නිවේදන ප්‍රචාරණ මාර්ග සිතියම් උපදේශනය හරහා ජාත්‍යන්තර වෙළඳපොළ බුද්ධි තොරතුරු සහ නිවැරදි දත්ත මත පදනම් වූ පස් අවුරුදු ගෝලීය ප්‍රවර්ධන උපායමාර්ගයක් සකස් කෙරේ. මෙරට අනන්‍ය සංස්කෘතික හා ස්වාභාවික උරුමයන් ලෝකයට ගෙන යමින් ශ්‍රී ලංකාවේ ගෝලීය සංචාරක සන්නිවේදනය යාවත්කාලීන කිරීමට අපේක්ෂිත මෙම ප්‍රවේශය, ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රධාන කුළුණක් වන සංචාරක ව්‍යාපාරය ඉහළ වටිනාකමකින් යුත් ආර්ථික බලකණුවක් බවට පත් කිරීමට මඟ පාදනු ඇත.
මෙමඟින් යහපාලනය ශක්තිමත් කිරීම, ආයෝජන ආකර්ෂණය කරගැනීම, වෙළඳපොළ විවිධාංගීකරණය සහ ආයතනික ධාරිතාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරෙන අතර, ජාතික ප්‍රතිපත්ති පරමාර්ථ සමඟ පළාත් මට්ටමේ ප්‍රමුඛතා පෙළගැස්වීම හරහා රටේ සමස්ත ආර්ථික ස්ථාවරත්වයට පුළුල් රුකුලක් ලැබෙනු ඇත. ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක වන මෙම විධිමත් උපායමාර්ගික වැඩපිළිවෙළ මඟින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් ලෙස වඩාත් ශක්තිමත් මට්ටමකට ඔසවා තැබීමට සහ ස්ථාවර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට හැකි වනු ඇතැයි බලධාරීහු විශ්වාසය පළ කරති.














