ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉතිහාසයේ මෙරටට පැමිණි විශාලම පුද්ගලික ජපන් සංචාරක සහ ව්‍යාපාරික දූත පිරිස පසුගියදා කොළඹට ළඟා වීමත් සමඟ, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල නව සන්ධිස්ථානයක් සනිටුහන් වී තිබේ. ‘Japan Returns to Sri Lanka’ තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම පුළුල් වැඩසටහන, වර්තමානයේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සඳහා ඉතා සුරක්ෂිත හා ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත්ව ඇති බවට කදිම සාක්ෂියක් වන අතර, එය දෙරට අතර සංස්කෘතික හා වාණිජ බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමට මඟ පාදා දී ඇත.
ආචාර්ය රුවන් පෙරේරාගේ සංකල්පයක් මත ගොඩනැඟුණු මෙම ‘Little Japan’ වැඩසටහන හරහා ජපන් වැසියන් සහ ව්‍යාපාරිකයන් මෙරට ආර්ථික හා සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි තබා ඇති ඉහළ විශ්වාසය මැනවින් ප්‍රදර්ශනය වන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා පෙන්වා දුන්නේය. ගෝලීය අර්බුද හමුවේ වුවද මෙවැනි විශාල මට්ටමේ ජාත්‍යන්තර ආයෝජන සහ සංචාරක කණ්ඩායම් දිවයිනට ආකර්ෂණය කර ගැනීම, රටේ ආර්ථික ස්ථාවරත්වය සහ ඉදිරි ප්‍රවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අත්වැලක් වනු ඇත.
මෙම සංචාරය සාර්ථක කර ගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ පිහිටි ජපන් ආයෝජන සහිත Colombo International Airport Hotel ආයතනය ප්‍රධාන නවාතැන්පොළ ලෙස දායක වී ඇති අතර, ඉදිරි මාසවලදී සංචාරක, වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍රවලින් දෙරටටම ඉහළ ප්‍රතිලාභ අත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජපානය සමඟ පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ව්‍යාපාරික අවස්ථා කරා පරිවර්තනය කිරීමට මෙම වැඩසටහන ඉමහත් පිටුබලයක් වන අතර, එය ශ්‍රී ලංකාවේ සංචාරක අංශයේ අනාගත සංවර්ධනයට සුවිශේෂී රුකුලක් වනු නොඅනුමානය.














