ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කළුතර මග්ගොන ද්විත්ව දුම්රිය පාලමේ ඉදිකිරීම් කටයුතු ඊයේ (31) නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් බරපතළ ලෙස හානියට පත්ව නිසි ප්රතිසංස්කරණයකට ලක් නොවූ මෙම යකඩ පාලම මේ වන විට දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබීම හේතුවෙන්, එම මාර්ගයේ දුම්රිය ධාවන වේගය සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව තිබිණි.
මෙම නව ව්‍යාපෘතිය යටතේ පවතින පැරණි පාලමට සමාන්තරව මීටර් 26ක් දිග සහ මීටර් 10.5ක් පළල නව කොන්ක්‍රීට් පාලමක් ඉදිවන අතර, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා යෝජකත්වයෙන් සහ ආර්.ආර්. කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ ක්‍රියාකාරී දායකත්වයෙන් වසරක් ඇතුළත මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය. දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ මගී ජනතාව මුහුණ දුන් ප්‍රවාහන දුෂ්කරතා සහ දුම්රිය ප්‍රමාදයන්ට කඩිනම් විසඳුම් ලබා දීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන මෙම සංවර්ධන වැඩසටහන ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහාක් වන තීරණාත්මක පියවරකි.
මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයත් සමඟ ඉදිරි වසරක කාලය තුළ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ තවත් පාලම් 12ක් ප්‍රතිසංස්කරණය කිරීමට සහ දුම්රිය මාර්ග පද්ධතිය නියමිත වේග සීමා පවත්වාගෙන යා හැකි පරිදි වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය. රටේ ප්‍රවාහන අංශය මුහුණ දී ඇති අභියෝග හමුවේ යටිතල පහසුකම් වේගයෙන් යථාවත් කිරීම හරහා මගී ප්‍රවාහනයේ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තහවුරු කිරීමට රජය ගෙන යන මෙම අඛණ්ඩ මෙහෙයුම් රටේ ආර්ථික සංවර්ධනයට මෙන්ම ජනතා සුබසාධනයට සෘජුවම බලපානු ඇත.
















