සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම කමිටුව පත් කරනු ලැබ ඇත්තේ මෙරට සෞඛ්‍ය සේවා ව්‍යුහය තුළ දිගුකාලීනව පැවති වෘත්තීයමය ගැටුම් සහ අසමතුලිතතා විසඳීමේ අරමුණිනි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට වෛද්‍ය අමිල සුරංග මහතා ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර, වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ, වෛද්‍ය සමින්ද සමරකෝන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී.එන්.පී. ඕපාත සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දිලීප් ද සිල්වා යන මහත්වරුන් සෙසු සාමාජිකයන් ලෙස නම් කරනු ලැබ තිබේ.
නව අතරමැදි ශ්‍රේණියක් නිර්වචනය කිරීම, ඊට අදාළ වන විශේෂඥතා ක්ෂේත්‍ර හඳුනා ගැනීම, වෛද්‍යවරුන් තෝරා ගැනීමේ පටිපාටිය, සේවා කාල සීමාවන්, ප්‍රතිලාභ සහ ස්ථාන මාරු ක්‍රියාවලිය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම මෙම විශේෂඥ කමිටුවට පැවරී ඇති ප්‍රධාන වගකීම වෙයි. දේශීය සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සහ සේවා කොන්දේසි විධිමත් කිරීම අත්‍යවශ්‍ය වන පසුබිමක, මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිගුකාලීන ස්ථාවරත්වයක් අපේක්ෂා කෙරේ.
අදාළ වෘත්තීය විද්‍යායතන සහ සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනා පුළුල් ලෙස විමර්ශනය කර මසක් ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සිය අවසාන නිර්දේශ ඉදිරිපත් කරන ලෙස කමිටුවට දන්වා තිබේ. මෙම කමිටු වාර්තාව මත පදනම්ව ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවයේ අනාගත දිශානතිය මෙන්ම වෛද්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කෙරෙහි දැඩි ලෙස බලපානු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.
















