කිර්ගිස්ථානයේ බිෂ්කෙක් නුවරදී පැවැත්වෙන ශැංහයි සහයෝගිතා සංවිධාන නායක සමුළුවට සමගාමීව චීන ජනාධිපති ෂී ජින්පිං සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර විශේෂ ද්විපාර්ශ්වික හමුවක් පවත්වා තිබේ.
වත්මන් ගෝලීය දේශපාලන හා ආර්ථික ක්ෂේත්රය සංකීර්ණ විපර්යාසයන්ට සහ අවිනිශ්චිතතාවන්ට ලක්ව ඇති පසුබිමක, දෙරටේ පූර්ණ උපායමාර්ගික සහයෝගිතාව අඛණ්ඩව ශක්තිමත් කරමින් ලෝකයට ආදර්ශයක් වී ඇති බව නායක දෙපළ මෙහිදී අවධාරණය කර ඇත. විශේෂයෙන්ම මැයි මස රුසියානු ජනාධිපතිවරයාගේ චීන රාජ්‍ය සංචාරයේදී එළඹුණු එකඟතා මත පදනම්ව, වෙළඳ, බලශක්ති, කාර්මික, ප්‍රවාහන සහ විද්‍යා තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකම සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීමට දෙපාර්ශ්වය එකඟතාව පළ කර තිබේ.
සාමය, සංවර්ධනය සහ බහුපාර්ශ්වික සහයෝගිතාව වෙනුවෙන් ලෝකවාසීන්ගේ අපේක්ෂාවන් වෙනස් වී නොමැති බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා, ගෝලීය කළමනාකරණය ඉදිරියට ගෙන යාම සඳහා රුසියාව ඇතුළු ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයන් සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව ප්‍රකාශ කළේය. කලාපීය හා ජාත්‍යන්තර යාන්ත්‍රණ තුළ දෙරටේ සම්බන්ධීකරණය තවදුරටත් තහවුරු කරමින් ඉදිරියට යාමට ගත් මෙම තීරණය, ඉදිරි භූ දේශපාලනික සමතුලිතතාව කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයෝ පෙන්වා දෙති.
















