රත්නපුරය දේශීය මැණික් සඳහා පමණක් නොව විදේශයන්ගෙන් ආනයනය කරන මැණික් සඳහාද අගය එකතු කර ලෝක වෙළෙඳපොළට යොමු කරන ප්‍රධාන ගෝලීය මැණික් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම රජයේ පැහැදිලි දැක්ම බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
පැල්මඩුල්ල Grand Silver Ray සංකීර්ණයේදී පැවැති “Gem City Ratnapura 2026” අන්තර්ජාතික මැණික් ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ අගය එකතු කළ නිෂ්පාදන හරහා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 02ක අපනයන ආදායමක් රටට ලබාගැනීම රජයේ අපේක්ෂාව වන අතර, පරිසර සුරක්ෂිතතාව, කාන්තා නියෝජනය ඉහළ නැංවීම, ළමා ශ්‍රමය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සහ විනිවිදභාවය තහවුරු කිරීම මගින් ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරගකාරීත්වය ඉහළ නංවන බව ඔහු සඳහන් කළේය.
මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ, විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා ‘Sapphire’ ඇතුළු මැණික් වර්ග සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ පුළුල් කිරීමට සහ සංචාරක කර්මාන්තය සමඟ ක්ෂේත්රය සම්බන්ධ කරමින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට කටයුතු කරන බවයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ ලංකා මැණික් වෙළෙඳුන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමය (LGDMA) එක්ව අඛණ්ඩව තෙවැනි වරටත් සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය සඳහා රටවල් රැසක ජාත්‍යන්තර ආයෝජකයින් සහ විදේශීය ගැනුම්කරුවන් විශාල පිරිසක් එක්ව සිටිති.
















