නුවරඑළිය, හග්ගල ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයකු යටකර මාරාන්තික අනතුරක් සිදුකළ බස් රථය දීර්ඝ කාලයක සිට නිසි ලෙස නඩත්තු කර නොමැති වීම හේතුවෙන් එය තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
පසුගිය 23 වනදා පාසල් ළමුන් පිරිසක් රැගෙන හග්ගල උද්භිත උද්‍යානය නැරඹීමට පැමිණි මෙම බස් රථය, හග්ගල – වැලිමඩ මාර්ගයේ බෑවුම් සහිත ප්‍රදේශයක ධාවනය වෙමින් තිබියදී රත්නපුර ප්‍රදේශයේ සිට පැමිණි සංචාරකයකු මාරුවීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති අතර, එයින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මියගොස් ඇත. බස් රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරයාගේ පරීක්ෂාවට යොමු කර ඇති අතර, මෙහිදී මෙම බස් රථය “සිසු සැරිය” නාමය අවභාවිත කරමින් ධාවනය කර ඇති බවත් හෙළි වී තිබේ.
සිදුකළ තාක්ෂණික පරීක්ෂාවේදී බස් රථයේ තිරිංග පද්ධතිය අක්‍රිය වීම, අත් තිරිංග සම්පූර්ණයෙන්ම අක්‍රියව පැවතීම, ටයර් දිරාපත් වී තිබීම සහ සියලුම රෝදවල නට් එක බැගින් ගලවා ඉවත් කර තිබීම ඇතුළු බරපතළ දෝෂ රැසක් නිරීක්ෂණය වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා සඳහන් කළේය. අදාළ සියලු අඩුපාඩුකම් සම්පූර්ණයෙන් සකස් කර නැවත පරීක්ෂාවට ඉදිරිපත් කරන තෙක් බස් රථය ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
















