රේගු දෙපාර්තමේන්තුවේ සිදුවූ මහා පරිමාණ අක්‍රමිකතාවක් වසන් කිරීමට වත්මන් ජනාධිපති ලේකම්වරයා කටයුතු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි. අද දෙරණ ‘360’ වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.
2024 වසරේදී ආනයනය කරන ලද බලපත්‍ර නොමැති වාහන අමතර කොටස් සහිත බහාලුමක් සම්බන්ධයෙන් මෙම ගැටලුව පැන නැගී ඇති අතර, පළමු කණ්ඩායම දෝෂයක් නොමැති බව පැවසුවද, එවකට රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ලේකම්වරයාගේ නායකත්වයෙන් යුත් දෙවන කණ්ඩායමක් එය යළි පරීක්ෂා කර වාහන ආසන 7ක් පමණක් හමුවූ බව පවසමින් රාජසන්තක කිරීමට නිර්දේශ කර ඇත. කෙසේ වෙතත්, රේගු අභ්‍යන්තර විමර්ශන අංශය සිදුකළ තෙවන පරීක්ෂාවකදී ප්‍රකාශ නොකළ භාණ්ඩ වර්ග 45කට අයත් අයිතම 600කට අධික ප්‍රමාණයක් (වාහන ආසන 130ක් සහ රිම් සහිත ටයර් විශාල ප්‍රමාණයක්) තිබී ඇති බව අනාවරණය වී ඇත. මෙම වාර්තා අතුරුදන් වී ඇති බවත්, තමන් සතුව ලේඛන ඇති බවත් පවසන මන්ත්‍රීවරයා, මේ සම්බන්ධයෙන් එළඹෙන බදාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් සඳහන් කළේය.
















