ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ සර්බියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් Damjan Jović මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් බෙල්ග්‍රේඩ්හි සර්බියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවේදී දෙරට අතර ආර්ථික සහයෝගීතාව, වෙළෙඳ හා ආයෝජන, අධ්‍යාපනය, රැකියා අවස්ථා, ක්‍රීඩා සහ ඩිජිටල් ආර්ථිකය ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇත. ජාත්‍යන්තර ප්‍රදර්ශන සහ ව්‍යාපාරික වේදිකා හරහා පෞද්ගලික අංශ සහ ආයතන අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීමටත්, ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන පවත්වාගෙන යාම සඳහා වඩාත් විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබඳවත් දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගෙන තිබේ.














