දීර්ඝ කාලයක් මුළුල්ලේ රාජ්‍ය දැව සංස්ථාව මුහුණ දී තිබූ දැඩි මානව සම්පත් හිඟයට තිරසාර විසඳුම් ලබා දෙමින්, ආයතනික තනතුරු 10ක් යටතේ පවතින පුරප්පාඩු සඳහා නව පත්වීම් ප්‍රදානය කිරීම ඊයේ (31) රාජ්‍ය දැව සංස්ථා ‘සප්ත පරිසර මණ්ඩපයේදී’ පවත්වන ලදී.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ප්‍රදානය කර තිබේ. 2,308ක් වූ රාජ්‍ය දැව සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩලයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ පුරප්පාඩු වී තිබීම හේතුවෙන් ආයතනික කටයුතු කළමනාකරණය කිරීම අභියෝගයක් වී තිබූ පසුබිමක, 2025 සහ 2026 වර්ෂවල කැබිනට් මණ්ඩල අනුමැතියට යටත්ව මෙම බඳවා ගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව වසර ගණනාවක් තිස්සේ නොවිසඳී තිබූ ආයතනික තනතුරු 10කට අදාළ පුරප්පාඩු 54ක් මෙලෙස පුරවා ඇති අතර, මෙම සියලු බඳවා ගැනීම් සහ ස්ථිර කිරීම් සමඟ සංස්ථාවේ සමස්ත සේවක සංඛ්‍යාව 1,474ක් දක්වා යාවත්කාලීන වේ. එමෙන්ම, මෙම සියලු සේවක වැටුප් හා දීමනා සඳහා වැයවන මූල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයට බරක් නොවී සංස්ථාව විසින්ම උපයා ගන්නා ආදායමෙන් සපුරා ගැනීමට කටයුතු කිරීම සුවිශේෂී කරුණක් බව සඳහන් වේ.














