අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමයේ (SLMSA) සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවේදී ඛනිජ සම්පත් ගවේෂණය, කැණීම් සහ අගය එකතු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවත්, මෙරට ඛනිජ සම්පත ජාතික ආර්ථිකයේ වර්ධනයට සහ අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට විධිමත් ලෙස උපයෝගී කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳවත් පුළුල් ලෙස සාකච්ඡා කර ඇත. දේශීය නිෂ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, ආයෝජකයන්ට සහන ලබා දීම, බලපත්‍ර ලබා ගැනීමේදී මතුවන ගැටලු නිරාකරණය කිරීම සහ ආයෝජන කැඳවා ගැනීමේදී විනිවිදභාවයෙන් හා මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දී තිබේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ඛනිජ වැලි සංගමයේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.














