ලෝක බැංකු මූල්‍ය සහයෝගය යටතේ ක්‍රියාත්මක වන ඒකාබද්ධ ග්‍රාම-නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තුදීමේ ව්‍යාපෘතිය (IRDCRP) යටතේ සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මේ සඳහා මේ වන විට රුපියල් මිලියන 5,800කට අධික මුදලක් වෙන් කර ඇති අතර, එය 2029 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ සාමාන්‍ය ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ පොළොන්නරුව, හම්බන්තොට සහ යාපනය දිස්ත්‍රික්කවල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින සුළු වාරි වැව් 06ක් සඳහා රුපියල් 256,168,900.88ක් වෙන් කර ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත. මීට අමතරව, දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ දිස්ත්‍රික්ක 18ක සුළු වාරි වැව් 290ක් හදිසි අවස්ථා ප්‍රතිචාර සංරචකය (CERC) යටතේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් 5,578,334,825.34ක මුදලක් වෙන් කර තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ වැව් 97ක්, රත්නපුරයේ 29ක්, මන්නාරමේ 24ක්, කුරුණෑගලයේ 19ක් සහ මහනුවර හා වවුනියාව දිස්ත්‍රික්කවල වැව් 15 බැගින් ඇතුළුව දිස්ත්‍රික්ක 18 පුරා මෙම කටයුතු සිදු කෙරේ.
වැව් ප්‍රතිසංස්කරණය කිරීමෙන් ජලය රඳවා ගැනීමේ හැකියාව සහ වාරි ජලය බෙදාහැරීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු වන අතර, දේශගුණික අවදානම් හමුවේ කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ඔරොත්තුදීමේ හැකියාව ශක්තිමත් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික හා පරිපාලන දායකත්වය සහ ගොවි සංවිධානවල සහයෝගය ඇතිව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි.














