නේපාලයේ හිටපු අගවිනිසුරු ගෝපාල් ප්‍රසාද් පරාජුලි මහතා සිය උපන්දිනය ව්‍යාජ ලෙස සකස් කරමින්, විශ්‍රාම වයස ඉක්මවා මාස හතක කාලයක් අනීතිකව අගවිනිසුරු ධූරය දැරීම හේතුවෙන් තනතුරෙන් ඉවත් කිරීමට සිදුවූ සිදුවීමක් මෙහි දැක්වේ.
අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වන අවුරුදු 65 ඉක්මවා තනතුර දරන බවටත්, ඔහුගේ උප්පැන්න සහතිකය ව්‍යාජ එකක් බවටත් ප්‍රථමයෙන් හෙළි කළේ වෛද්‍ය කේ.සි. ගෝවින්ද මහතාය. ඔහු ඊට එරෙහිව මාරාන්තික උපවාසයක්ද දියත් කළේය. “කාන්තිපූර්” පුවත්පත අගවිනිසුරුගේ විවිධ ලියකියවිලිවල සඳහන් උපන්දිනයන්හි වෙනස්කම් ප්‍රසිද්ධ කළ අතර, නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළේය. මීට අමතරව, සෙසු විනිසුරුවරුන් ද ඔහු සමඟ නඩු ඇසීම වර්ජනය කළහ. අධිකරණ මණ්ඩල පරීක්ෂණයකින් ඔහු වයස ඉක්මවා මාස හතක් ධූරය දරා ඇති බව තහවුරු වීමත් සමඟ, එරට අගමැති කේ.පී. ෂර්මා ඔලි ඇතුළු රජය විසින් ඔහු අගවිනිසුරු ධූරයෙන් නිල වශයෙන් ඉවත් කරන ලදී.
















