2026 වසරේ පළමු මාස හත (ජනවාරි – ජූලි) ඇතුළත ශ්රී ලංකාවෙන් ඉන්දියාව වෙත සිදුකළ වෙළෙඳ භාණ්ඩ අපනයනය පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව 7.22%ක වර්ධනයක් අත්කර ගනිමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 669.36ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නවතම දත්ත පෙන්වා දෙයි.
2025 වසරේ ජනවාරි-ජූලි කාල සීමාවේදී ඉන්දියාවට කළ අපනයන ආදායම ඩොලර් මිලියන 624.31ක් වූ අතර, මෙවර ජූලි මාසයේදී පමණක් ඉන්දියාවට කළ අපනයනය 9.12%කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 129.51ක් වාර්තා කර ඇත. බොයිලේරු, පිස්ටන් එන්ජින්, පොම්ප, තෙල්, සත්ත්ව ආහාර සහ මූලික ලෝහ නිෂ්පාදන අපනයනය ඉහළ යාම මෙම වර්ධනයට ප්රධාන වශයෙන් හේතු වී තිබේ. මේ අතර, සමස්ත දකුණු ආසියානු කලාපය වෙත ශ්රී ලංකාව කළ අපනයන ආදායම ද 11.98%කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් මිලියන 916.55ක් දක්වා වර්ධනය වී තිබීම විශේෂත්වයකි.
















