යෝජිත 22 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පළපුරුදු විනිසුරුවරුන් තවදුරටත් සේවයේ රඳවා ගැනීමට කටයුතු කරන බවට රජය ඉදිරිපත් කරන තර්කය පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් දැඩි ලෙස ප්‍රශ්න කර තිබේ.
22 වන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් යුත් මඩුල්ලක් පත් කර ඇති අතර, එම විනිසුරු මඩුල්ලේ සංයුතිය මඟින් රජයේ තර්කය අභියෝගයට ලක් වන බව ඔහු පෙන්වා දෙයි. වැඩිම ජ්‍යෙෂ්ඨත්වයක් සහිත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කිහිපදෙනෙකුම මෙම මඩුල්ලට ඇතුළත් කර නොමැති අතර, සාපේක්ෂව කනිෂ්ඨ විනිසුරුවරයෙකුද ඊට ඇතුළත් කර තිබීම මඟින් පළපුරුද්ද මතම පමණක් එවැනි තීරණ නොගන්නා බව පැහැදිලි වන බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
















