රුසියානු ආර්ථිකය සම්පූර්ණයෙන්ම හමුදා සහ ආරක්ෂක නිෂ්පාදන (Military-industrial complex) සඳහා පමණක් යොමු කිරීමට කටයුතු කළහොත්, එමගින් රුසියානු ආර්ථිකය පාලනය කරගත නොහැකි, අතිශය උග්‍ර අර්බුදකාරී තත්ත්වයකට (Berserk mode) පත්වීමේ දැවැන්ත අවදානමක් පවතින බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ගේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ විශේෂ නියෝජිත බෝරිස් ටිටොව් (Boris Titov) අනතුරු අඟවයි.
RBC පුවත් සේවය වෙත අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ, හමුදාමය සහ සිවිල් ආර්ථිකයන් අතර නිරන්තර සමබරතාවයක් පැවැතිය යුතු බවයි. වසර 4.5ක් තිස්සේ ඇදී යන යුක්රේන යුද්ධය හමුවේ රුසියාවේ ආර්ථික වර්ධනය මෙවර 0.4%ක් තරම් අඩු අගයකට මන්දගාමී වී ඇති අතර, යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර හමුවේ තෙල් පිරිපහදු සහ අපනයන යටිතල පහසුකම් විනාශ වීම නිසා සාමාන්‍ය ආර්ථික ක්ෂේත්‍ර දැඩි කඩාවැටීමකට ලක්ව තිබේ. ජෝසෆ් ස්ටාලින්ගේ සමයේ මෙන් “සියල්ල යුද බිම වෙනුවෙන්” යන පදනමින් ආර්ථිකය මෙහෙයවීමට අතිගාමී නායකයින් උත්සාහ කළද, මෙවැනි ආවේගශීලී පැවැත්මක් පැවතිය හැක්කේ කෙටි කාලයකට පමණක් බවත්, පූර්ණ යුද ආර්ථිකයකට යෑම හරහා සාමාන්‍ය ආර්ථිකය විනාශ කිරීම මුළු රටම විනාශ කිරීමට සමාන වන බවත් ක්‍රෙම්ලිනයේ ප්රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














