නේපාලයේ නුවාකොට් සහ ටිබෙට් දේශසීමා ප්‍රදේශවල හටගත් දරුණු ගංවතුර ව්‍යසනයෙන් අතුරුදන් වී ඇති ඔස්ට්‍රේලියානු පුරවැසියන් අතර ශ්‍රී ලංකා සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු පවුලක්ද වන බව වාර්තා වේ.
සිඩ්නි නුවර පදිංචිව සිටි 47 හැවිරිදි චන්ද්‍රසේකරන් මුරලිදරන්, ඔහුගේ බිරිඳ වන 42 හැවිරිදි ශෛලජා මුරලිදරන් සහ ඔවුන්ගේ 14 සහ 11 හැවිරිදි අශ්වින් සහ ආරුෂ් යන පුතුන් දෙදෙනා මෙලෙස අතුරුදන්ව ඇත. යාපනයේ කෝපායි ප්‍රදේශයෙන් පැමිණි මෙම පවුල කෛලාස් කඳුකරය වන්දනාමාන කිරීමේ චාරිකාවක නිරතව සිටියදී පසුගිය අගෝස්තු 26 වැනි දින මෙම ව්‍යසනයට මුහුණ දී තිබේ. ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ප්‍රදේශයේ සන්නිවේදන සහ ප්‍රවාහන මාර්ග සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති අතර, ඔස්ට්‍රේලියානු බලධාරීන් සහ ගැලවුම්කරුවන් අතුරුදන් වූ පිරිස සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.














