දිවයින පුරා පිහිටි විදාතා සම්පත් මධ්‍යස්ථාන 315 නවීන තාක්ෂණික හා ගෝලීය ප්රවණතාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංවිධානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ග්‍රාමීය මට්ටමේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත විද්‍යාත්මක දැනුම හා පර්යේෂණ මත පදනම් වූ නවෝත්පාදන ප්‍රවේශ කරවීමේ අරමුණින් 2005 වසරේ ආරම්භ කළ මෙම වැඩසටහන වත්මන් ලෝකයේ වෙනස්වන වෙළෙඳපොළ සහ දේශගුණික අවදානම් හමුවේ යාවත්කාලීන නොවීම හේතුවෙන් දැඩි ව්‍යුහාත්මක සීමාවන්ට මුහුණ දී සිටියේය.
මෙම නව ප්රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ 2026 සිට 2030 දක්වා ක්‍රියාත්මක වන උපායමාර්ගික රාමුවක් ඔස්සේ සෑම මධ්‍යස්ථානයක්ම විශේෂිත ඒකක තුනක් යටතේ විධිමත් කිරීමට නියමිතය. ඒ අනුව විද්‍යාත්මක දත්ත රැස් කිරීමේ ඒකකය, සේවා සහ ආධාරක හා බුද්ධිමය දේපළ ඒකකය සහ තත්ත්ව හා ප්‍රමිති ඒකකය ලෙස මෙම ආයතන ජාලය ප්‍රතිසංවිධානය කෙරෙන අතර, එයින් ජාතික විද්‍යාත්මක ධාරිතාව සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධනය අතර පවතින පරතරය අවම කිරීමට අපේක්ෂා කෙරේ.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයාගේ ඉදිරිපත් කිරීම මත අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලැබී ඇති මෙම නව ආයතනික ආකෘතිය හරහා ප්‍රාදේශීය මට්ටමේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ නව තාක්ෂණය ග්‍රාමීය ව්‍යවසායකයා වෙත සමීප කිරීමට පුළුල් අවකාශයක් සැලසෙනු ඇත. ගෝලීය තරගකාරීත්වයට මුහුණ දීමට හැකි ශක්තිමත් ආර්ථික පදනමක් දිස්ත්‍රික් මට්ටමින් නිර්මාණය කිරීම සඳහා මෙම ආයතන නවීකරණය කිරීම කාලීන අවශ්‍යතාවක් වන අතර, එය මෙරට කාර්මික හා තාක්ෂණික ක්ෂේත්රයේ තිරසාර සංවර්ධනයට සෘජු රුකුලක් වනු ඇත.














