තිරසාර ආහාර පද්ධති පිළිබඳ ශ්‍රී ලංකාවේ පාරම්පරික ඥානයෙන් ලොවට වැදගත් පාඩමක් ඉගෙනීමට හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය භූතානයේ දී ප්‍රකාශ කර ඇත. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ භූතානයේ ඩුන්ග්කාර් ඩ්සොංහිදී “අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැඟී සිටීම” යන තේමාවෙන් පැවැත්වුණු සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමිනි.
භූතාන රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව සංවිධානය කරන ලද මෙම සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලාංකිකයින් පරම්පරා ගණනාවක් පුරා ආහාර නිෂ්පාදනයේ සිට ගබඩා කිරීම, සංරක්ෂණය සහ පරිභෝජනය දක්වා සෑම අදියරකදීම සොබාදහම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම අවබෝධ කරගෙන සිටින බවයි. එම උරුමය ඉදිරියට ගෙන යාම පිළිබඳව ශ්‍රී ලාංකිකයකු ලෙස තමන් මහත් ආඩම්බරයට පත්වන බවද ඇය එහිදී පෙන්වා දී තිබේ.














