වනඅලි දුම්රිය මාර්ගවල ගැටීම වැළැක්වීම සඳහා නවීන තාක්ෂණික පද්ධතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අත්සන් කර තිබේ.
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව සහ මහජන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. PIR සංවේදක, උෂ්ණත්ව සංවේදක සහ කිලෝ ග්‍රෑම් 20ට වැඩි සතුන් හඳුනාගන්නා විශේෂ පද්ධතියකින් සමන්විත මෙම තාක්ෂණය මගින් දුම්රිය එන්ජින් මැදිරියට අලියා සිටින ස්ථානය පිළිබඳ පූර්ව සංඥා ලබාදෙයි. පින්නවලදී සාර්ථකව පරීක්ෂා කෙරුණු මෙම පද්ධතිය ලබන මාසයේ සිට අලි අනතුරු බහුල ස්ථාන 13ක ස්ථාපනය කිරීමට නියමිත අතර, එහි ප්‍රගතිය සජීවීව බලාගැනීමට “slps.lk” වෙබ් අඩවිය ද දියත් කෙරේ.














