ඉස්ලාමීය රාජ්‍ය (IS) ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරමින් ගෝලීය අවධානය දිනාගත් සිරියාවේ කුර්දි සමූහයට අයත් ‘කාන්තා ආරක්ෂක බලකාය’ (YPJ), සිරියාවේ ස්ථාපිත වූ නව පාලන තන්ත්‍රය යටතේ නිල සංවිධානාත්මක ආරක්ෂක භූමිකාවක් ලබාගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටියි.
2024 අගභාගයේදී බෂාර් අල්-අසාද්ගේ පාලනය බිඳවැටීමෙන් පසු බලයට පත් අහමඩ් අල්-ෂාරා (Ahmed al-Sharaa) ප්‍රමුඛ නව රජය, ස්වාධීනව පැවැති සන්නද්ධ කණ්ඩායම් රාජ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට පියවර ගනිමින් සිටියි. මේ යටතේ කුර්දි ජාතිකයන් නියෝජනය කළ SDF බලකාය නිල වශයෙන් විසුරුවා හැර ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්ත කළ ද, YPJ කාන්තා සටන්කාමීන් හමුදාවට එක්කර ගැනීම නව ආරක්ෂක අමාත්‍යාංශය මගින් ප්‍රතික්ෂේප කර තිබේ.
YPJ බලකායේ නායිකා නවුරුස් අහමඩ් (Nowruz Ahmed) පවසන්නේ තමන් 1,500කට අධික සටන්කාමී පිරිසක් සඳහා ස්වාධීන බළකායක් ලෙස හමුදාවට එක්වීමට යෝජනා කළ ද එය ප්‍රතික්ෂේප වූ බවයි. ඒ හේතුවෙන් ඔවුන් මේ වන විට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ (Interior Ministry) විශේෂ මෙහෙයුම් බලකායට එක්වීම සඳහා අලුතින් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ ඊට ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














