යුක්රේනය විසින් රුසියාවේ තෙල් පිරිපහදු ඉලක්ක කර ගනිමින් පසුගිය මාස දෙක පුරා එල්ල කළ දැවැන්ත ප්‍රහාර හේතුවෙන් රුසියාවේ බලශක්ති සැපයුම් ජාලයට දැඩි බාධා එල්ල වී තිබේ. මේ නිසා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්දියාවෙන් තෙල් ආනයනය කිරීමට රුසියාවට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව පසුගිය ජූනි සහ ජූලි මාස දෙක තුළ පමණක් රුසියාව විසින් ඉන්දියාවෙන් පෙට්‍රල් බැරල් මිලියන එකකට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇත. මෙතෙක් රුසියාවෙන් ඉන්දියාවට පමණක් සිදු වූ ඒකපාර්ශ්වික තෙල් වෙළෙඳාම මේ වන විට ද්විපාර්ශ්වික බලශක්ති හුවමාරුවක් බවට පත්ව තිබේ. බටහිර සම්බාධක හමුවේ රුසියාවේ ප්‍රධානම තෙල් පාරිභෝගිකයා බවට ආසියානු කලාපය පත්ව තිබූ අතර, මෙම නව තත්ත්වය හමුවේ ඉන්දියාවට රුසියාව සමඟ පැවැති වෙළෙඳ හිඟය අවම කර ගැනීමට ද අවස්ථාව හිමිව ඇත.
















