මෙරට පුනර්ජනනීය බලශක්ති සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ වෘත්තීය ප්‍රමිතීන් සහ විදුලි ආරක්ෂණ මට්ටම ඉහළ නැංවීම අරමුණු කරගනිමින්,Solar සහ ශීතකරණ/වායුසමීකරණ කාර්මිකයන් සඳහා 2030 වසර වන විට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතිකය ලබාගැනීම අනිවාර්ය කිරීමට රජය නීතිතිරේක පනවා තිබේ.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සඳහන් කරන්නේ, 2030 වසර වන විට 70%ක පුනර්ජනනීය බලශක්ති උත්පාදන ඉලක්කය සපුරා ගැනීම සඳහා වසරකට මෙගාවොට් 600ක සෞරග්‍රහ බලශක්ති ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කළ යුතු බවයි. දැනට එම ක්ෂේත්‍රයේ නිරත 10,000කට ආසන්න පිරිසගෙන් බහුතරයකට වෘත්තීය සහතික නොමැති අතර, එම හිඟය පියවීම සඳහා වසරකට කාර්මිකයන් 5,000කට සහ පරීක්ෂකයන් 100කට පුහුණුව ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. වසර දෙකකට වැඩි අත්දැකීම් සහිත කාර්මිකයන් සඳහා නොමිලේ NVQ Level 3 සහතිකය ලබාදීමට ද පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසිවලට අනුව, 2028-2029 කාල සීමාවේදී NVQ Level 3 ද, 2030 ජනවාරි 01 වැනිදා සිට NVQ Level 4 සුදුසුකම සහ ඉංජිනේරු කාර්මිකයෙකු ලෙස ලියාපදිංචි වීම ද අනිවාර්ය වේ. පරිසර අමාත්‍යාංශයේ ජාතික ඕසෝන් ඒකකය සමඟ එක්ව ශීතකරණ සහ වායුසමීකරණ කාර්මිකයන් සඳහා ද මෙම ප්‍රමිතීන් බලාත්මක කිරීමට නියමිතය.














