විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සුබසාධනය සුරක්ෂිත කිරීම සහ ඔවුන්ගේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගත් “InSA” (Integrated Systematic Approach for the Family Development of Migrant Workers) ජාතික ව්‍යාපෘතිය 2026 ඔක්තෝබර් 01 වැනිදා සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මියගේ සභාපතිත්වයෙන් රැස්වූ ආර්ථික සංවර්ධනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. විදේශගත වන මව්වරුන්ගේ වයස අවුරුදු 2ත් 18ත් අතර දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින්, පවුලේ මූල්‍ය කළමනාකරණය සහ ස්වයං රැකියා ප්‍රවර්ධනය ඇතුළත් විධිමත් පවුල් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් විදේශගත වීමට පෙර, විදේශයන්හි රැඳී සිටින අතරතුර සහ නැවත පැමිණීමෙන් පසුව යන අදියර තුනේදීම පවුල්වලට අවශ්‍ය උපදේශන සහ මනෝ-සමාජීය සහාය ලබා දීමට කටයුතු යොදනු ඇත.
මේ සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සභාපතිත්වයෙන් කොට්ඨාස මට්ටමින් “InSA කාරක සභා” පිහිටුවීමට නියමිත අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට ද එළඹීමට නියමිතය. විදේශගත වන සියලු ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර, සංචාරක වීසා (Tourist Visas) මගින් විදේශගත වන අයට මෙවැනි සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී පවතින ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.














