ශ්‍රී ලංකාව ගෝලීය තැඹිලි (Ceylon King Coconut) අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ දැවැන්ත පියවරක් තබමින් “තැඹිලි ගම්මාන 250ක්” පිහිටුවීමේ ජාතික වැඩසටහන නිල වශයෙන් ආරම්භ කර තිබේ.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පොල් වගාකිරීමේ මණ්ඩලයට අයත් කුරුණෑගල මහයාය වතු පරිශ්‍රයේදී මෙම ජාතික වැඩසටහන ආරම්භ විය. වසර 3ක් ඇතුළත දිවයින් පුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, ඒ අනුව 2026 වසරේදී ගම්මාන 75ක් ද, 2027 දී 80ක් ද, සහ 2028 දී ගම්මාන 95ක් ද ස්ථාපිත කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය යටතේ නව තැඹිලි පැළ 212,500ක් රෝපණය කිරීම, පවතින ගස් 221,500ක් පුනරුත්ථාපනය කිරීම සහ සෑම ගම්මානයකම කුඩා සකසන මධ්‍යස්ථානයක් බැගින් ඉදිකිරීමට සැලසුම් කර ඇත.
2030 වන විට වාර්ෂික තැඹිලි අස්වැන්න ගෙඩි මිලියන 25කින් ඉහළ නංවමින්, තැඹිලි සහ ආශ්රිත නිෂ්පාදන මගින් ලැබෙන අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 12 ඉක්මවා යාම මෙම වැඩසටහනේ ප්‍රධාන ඉලක්කයයි. 2026 වසර වෙනුවෙන් වෙන්කර ඇති රුපියල් මිලියන 405ක අයවැය ප්‍රතිපාදන යටතේ, ගොවීන් සඳහා පොහොර සහ යෙදවුම් වෙනුවෙන් ගසකට රුපියල් 700ක මූල්‍ය සහනාධාරයක් සහ රුපියල් 150ක සහන මිලට තැඹිලි පැළ ලබාදීම ද සිදු කෙරේ.













