කතරගම පොලිස් වසමේ, කතරගම-බුත්තල මාර්ගයේ විදුලි වැට මුරපොල ආසන්නයේදී අද (03) දහවල් 11:00 ට පමණ වන අලියෙකු පහරදීමෙන් පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ. හලාවත ප්රදේශයේ සිට කතරගම වන්දනාවේ පැමිණ ආපසු බුත්තල දෙසට ගමන් කරමින් තිබූ මෙම බස් රථයට වන අලියා පහරදීමත් සමඟ එය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති අතර, එම අවස්ථාවේදී මගීන් 40 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇත.
අනතුරෙන් තුවාල ලැබූ මගීන් 10 දෙනෙකු පමණ වහාම ප්රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක කර ඇත.














