වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “Ceylon King Coconut Village” ජාතික වැඩසටහන, ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ මහායාය වතු පරිශ්‍රයේදී ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ තැඹිලි වගාව නව මඟකට ගෙන යමින් නිෂ්පාදනය හා ඵලදායිතාව ඉහළ නැංවීමත්, ජාත්‍යන්තර වෙළෙඳපොළ පුළුල් කිරීමත් අරමුණු කරගනිමින් වසර තුනක කාලයක් තුළ දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ.
ඒ යටතේ 2026 වසරේදී තැඹිලි ගම්මාන 75ක්, 2027 වසරේදී ගම්මාන 80ක් සහ 2028 වසරේදී ගම්මාන 95ක් වශයෙන් ගම්මාන ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. මෙහි සම්භාරම්භක උත්සවය අමතමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළ තුළ තැඹිලි වතුර ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ වන විට ඩොලර් බිලියන 4ත් 5ත් අතර වටිනාකමකින් යුත් විශාල වෙළෙඳපොළක් පවතින බවයි. ඉදිරි වසර 10 තුළ මෙම ගෝලීය වෙළෙඳපොළ ඩොලර් බිලියන 10කට ආසන්න මට්ටමක් දක්වා දෙගුණයක් වනු ඇති බව පුරෝකථනය කර ඇති බැවින්, එම වෙළෙඳපොළෙන් විශාල පංගුවක් අත්පත් කර ගැනීමට මෙම ව්‍යාපෘතිය ඉවහල් වන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















