ආරච්චිකට්ටුව ප්‍රදේශයේ කුඹුරු යායක තැන්පත් වී තිබූ වැලි ඉවත් කිරීමේ කටයුතුවල නිරත වූ කොන්ත්‍රාත්කරුවෙකුගෙන්, ඉවත් කරන සෑම වැලි කියුබ් එකක් සඳහාම රුපියල් 500 බැගින් කප්පම් මුදල් ඉල්ලා සිටි බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වයත් සමඟ ආනවිලුන්දාව සහ සූරුවිල ප්‍රදේශවල වැව් බැමි කැඩී යාමෙන් කුඹුරු යායවල් මත වැලි තට්ටු තැන්පත් වී තිබූ අතර, අදාළ කොන්ත්‍රාත්කරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහ සූරුවිල ගොවි සමිතියෙන් නිසි අවසරය ලබාගෙන මෙම වැලි ඉවත් කිරීම සිදු කර ඇත. වැලි ඉවත් කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු, ඉවත් කරන සෑම වැලි කියුබ් එකක් සඳහාම රුපියල් 500 බැගින් තමන්ට ලබා දිය යුතු බවට බලපෑම් කර ඇති බව පැමිණිලිකරු සඳහන් කරයි.
මෙම කප්පම් ඉල්ලීමට එරෙහිව අදාළ කොන්ත්‍රාත්කරු විසින් ඉකුත් 02 වනදා සවස ආරච්චිකට්ටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
















