ගාල්ල යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම ලන්දේසි බලකොටුවේ පිහිටි 17 වැනි සියවසට අයත් ඓතිහාසික භූගත අපජල සහ වැසි ජල පවාහන පද්ධතිය ශුද්ධ පවිත්‍ර කර යථා තත්ත්වයට පත්කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
මුහුදේ දියරැළි සහ වඩදිය බාදිය චලනයන් උපයෝගී කරගනිමින් දිනකට දෙවරක් ස්වයංක්‍රීයව පිරිසිදු වන සේ කළුගල් සහ ගඩොල් යොදා ගනිමින් ආරුක්කු හැඩයට මෙම සුවිශේෂී කානු පද්ධතිය නිර්මාණය කර ඇත. එම යුගයේ පැවැති විශිෂ්ට ලන්දේසි නාගරික ඉංජිනේරු තාක්ෂණය මැනවින් පිළිඹිඹු කරන මෙම පද්ධතිය, කාලයක් පුරා වැලි සහ ඇහිරුණු අපද්‍රව්‍ය නිසා අක්‍රිය වී පැවතිණි. ගාල්ල මහා නගර සභාව විසින් මෙම බාධා ඉවත් කර පද්ධතිය මුල් පැවැති සක්‍රිය තත්ත්වයට පත්කිරීම සඳහා කඩිනම් පියවර ගනිමින් සිටියි.
















