ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා පදනම් කරගත් ප්‍රමුඛතම ග්‍රීන් කාඩ් කාණ්ඩයක් වන EB-1 (Employment-Based First-Preference) සඳහා ඉන්දියානු අයදුම්කරුවන්ගෙන් පවතින දැවැන්ත ඉල්ලුම හමුවේ, මෙවර මුල්‍ය වර්ෂය අවසන් වීමට පෙර එම කාණ්ඩය ඉන්දියානුවන් සඳහා සම්පූර්ණයෙන්ම වැසී යාමේ (Unavailable) තර්ජනයක් මතුව ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සැප්තැම්බර් වීසා වාර්තාවට (Visa Bulletin) අනුව, සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වන ඇමෙරිකානු මුල්‍ය වර්ෂයට පෙර ඉන්දියාවට වෙන් කර ඇති වීසා සීමාව ඉක්මවා යාමට ආසන්න බැවින්, ඉදිරි සති කිහිපය තුළ මෙම තීරණය ගැනීමට සිදුවනු ඇත. විශේෂ කුසලතා සහිත පුද්ගලයන්, විශිෂ්ට මහාචාර්යවරුන් සහ බහුජාතික සමාගම් විධායකයන් වෙනුවෙන් වෙන් කර ඇති EB-1 කාණ්ඩයේ සැප්තැම්බර් මාසය සඳහා වන අවසන් සුදුසුකම් ලබන දිනය (Final Action Date) 2022 ඔක්තෝබර් 15 දක්වා සීමා වී ඇත. මේ වන විටත් ඉන්දියානුවන් සඳහා EB-2 (උසස් උපාධිධාරීන්) සහ EB-5 (ආයෝජක වීසා) කාණ්ඩ සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති අතර, EB-3 කාණ්ඩයේ පෝලිම වසර 12කටත් වඩා (2014 ජනවාරි 01 දක්වා) පස්සට ගොස් තිබේ. ඔක්තෝබර් 01 වැනිදා ආරම්භ වන නව මුල්‍ය වර්ෂය සමඟ මෙම කාණ්ඩ යළි යාවත්කාලීන වීමට නියමිතය.
















