විවිධ භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් සහ කන්ටේනර් ප්‍රතිඅපනයනය කරන මුවාවෙන් රේගුව සහ ආරක්ෂක අංශ මුළා කර මත්ද්‍රව්‍ය තොග පිටින් රටට රැගෙන ඒම මේ වන විට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ඇතුළු වන ප්‍රධාන මාර්ගයක් බවට පත්ව ඇති බව පොලිස් අපරාධ අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා පවසයි.
මුහුදු මාර්ග ඔස්සේ ට්‍රෝලර් යාත්‍රාවලින් මත්ද්‍රව්‍ය ගෙන්වීම පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බැවින්, ජාවාරම්කරුවන් මෙම නව ක්‍රමවේදය තෝරාගෙන ඇති බව හෙළි වී තිබේ. මෙම ජාවාරම නැවැත්වීම සඳහා පොලිසිය සහ රේගුව ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර, ඊට සහාය දක්වන දූෂිත නිලධාරීන් පිළිබඳවද පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. ඉකුත් 01 වැනිදා කොළඹ වරායේදී කන්ටේනරයක තිබී රුපියල් කෝටි 1000කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 475ක් අත්අඩංගුවට ගනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.














