රුහුණු විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨය විසින් සංවිධානය කරන ලද කෘෂිකර්මය සහ පරිසරය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (ISAE – 2026) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ කෘෂිකර්ම, පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ආරම්භ කෙරිණි.
“දත්ත මත පදනම් වූ හරිත කෘෂිකර්ම සංක්‍රාන්තිය: සෞඛ්‍ය සම්පන්න පසක සිට සෞඛ්‍ය සම්පන්න ජනතාවක් කරා” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව, කෘෂිකර්මාන්තය සහ පාරිසරික තිරසාරභාවය පිළිබඳ අභියෝගවලට නවීන විද්‍යාත්මක හා තාක්ෂණික විසඳුම් සෙවීම අරමුණු කර ගෙන ඇත. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කළේ කෘතිම බුද්ධිය, චන්ද්‍රිකා තාක්ෂණය සහ අන්තර්ජාල ද්‍රව්‍ය (IoT) වැනි නවීන තාක්ෂණයන් කෘෂිකර්මාන්තයට යොදා ගැනීම අත්‍යවශ්‍ය වන බවත්, සෞඛ්‍ය සම්පන්න පසක් සහ හරිත පරිසර පද්ධතියක් හරහා සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කළ හැකි බවත්ය. නෙදර්ලන්ත ජාතික පාංශු සහ සංවේදක විශේෂඥ ආචාර්ය මැතියෝ පොගියෝ මහතා මෙහි ප්‍රධාන දේශනය පැවැත්වූ අතර, දෙස් විදෙස් විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














