වාහන ආනයන බදු මත පනවා ඇති 50%ක අධිභාරය ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කිරීමත් සමඟ, මෙරට වෙළඳපොළේ ඇතැම් ජනප්‍රිය වාහන මාදිලිවල මිල ගණන් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 45 (මිලියන 4.5) දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවෝ පවසති.
මැයි 15 වැනිදායින් පසු විවෘත කරන ලද ණයවර ලිපි (LC) යටතේ ආනයනය කරන ලද වාහන නව බදු ක්‍රමයට යටත්ව නිෂ්කාශනය කිරීම ආරම්භ වීමත් සමඟ මෙම මිල ඉහළ යාම සිදුව තිබේ. ඉදිරියේදී නව බදු ක්‍රමයට යටත් තවත් වාහන තොග වෙළඳපොළට පැමිණීමත් සමඟ වාහන මිල තවදුරටත් ඉහළ යා හැකි බවට වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) අනතුරු අඟවන අතර, නිතර නිතර අධිභාර පැනවීම වෙනුවට ස්ථාවර බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.














