ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින දැඩි ආචාර්ය හිඟය ඇතුළු ගැටලු කිහිපයකට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් ඊයේ (02) සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ඉදිරිපිටදී පැවැත්විණි.
මෙම විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, බලධාරීන් විසින් තම ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට අපොහොසත් වන්නේ නම් මේ වන විට ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියේදී තවදුරටත් දැඩි කිරීමට සිදුවන බවයි.
ඔහු පෙන්වා දී ඇත්තේ වත්මන් රජය බලයට පත්ව වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් විශ්වවිද්‍යාල ක්ෂේත්රයේ පවතින ගැටලු සඳහා තවමත් සාර්ථක විසඳුම් ලබාදීමට පියවර ගෙන නොමැති බවයි. මෙම ගැටලු පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කර තිබුණද ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැති බවද ඔහු සඳහන් කළේය.
දැනට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් 5,000කට ආසන්න පිරිසක් සේවය කරන අතර, විශ්වවිද්‍යාල පද්ධතියේ යථාර්ථවාදී අවශ්‍යතාව ආචාර්යවරුන් 12,000ක් පමණ වන බව සඳහන් වේ. එමෙන්ම 2015 වසරේ සිට මේ දක්වා ආචාර්යවරුන් 1,000කට ආසන්න පිරිසක් විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත්ව ගොස් ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.
මේ අතර, විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන්ගේ සංඛ්‍යාවද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. 2014 සහ 2015 වසරවලදී සිසුන් 25,000කට ආසන්න සංඛ්‍යාවක් බඳවාගෙන තිබුණද, 2025 වසර සඳහා සිසුන් 45,000කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට නියමිතව තිබීමත් සමඟ පවතින ආචාර්ය හිඟය තවදුරටත් දැඩි ගැටලුවක් බවට පත්ව තිබේ.
විශ්වවිද්‍යාල ක්ෂේත්රයේ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය සමඟ පැවැති සාකච්ඡාවලදී යම් එකඟතාවන්ට පැමිණ තිබුණද, එම එකඟතාවන්ගෙන් කිසිවක් මේ වන විටත් ක්‍රියාත්මක කර නොමැති බවද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.














