රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගය ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ආරම්භ විය.
නියෝජතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයට දන්වා සිටියේ අල්ලස හා දූෂණය දුරු කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති නමුත්, ඊට කාරක සභා අවස්ථාවේදී සංශෝධන දෙකක් ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන බවයි.
කෙසේවෙතත්, මෙම පනත් කෙටුම්පතට එරෙහිව මතු කර ඇති විරෝධතා අතර, යෝජිත සංශෝධන හරහා අල්ලස් හෝ දූෂණ චෝදනා ලැබ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට ඇප ලබා දීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉවත් කර අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත පැවරීම මඟින් පුද්ගලික නිදහස සහ මූලික අයිතිවාසිකම් කප්පාදු වන බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා සහ අලි සබ්රි යන මහත්වරු පෙන්වා දුන්හ. අධිකරණ බලය විධායකය වෙත පැවරීමක් සිදුවන බැවින් මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට නීතිඥවරුෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
















