ශ්රී ලංකාවට යුරෝපා සංගමය සමඟ පවතින ජී.එස්.පී. ප්ලස් (GSP+) බදු සහනය 2029 වන තෙක් ක්රියාත්මක වන බවත්, ඩොටර්ඩෑම් වරාය හරහා යුරෝපීය ඒකාබද්ධතාවය සඳහා බෙනලුක්ස් (Benelux) සංගමය හසුරුවා ගත හැකි බවත් ලන්දේසි තානාපති විබේ ද බෝර් (Wiebe de Boer) මහතා පවසයි
ශ්රී ලංකා – බෙනලුක්ස් ව්යාපාරික කවුන්සිලයේ (SLBBC) වාර්ෂික මහා මණ්ඩල රැස්වීමට ප්රධාන ආරාධතයා ලෙස එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇති අතර, අභිමතය පරිදි ජී.එස්.පී. ප්ලස් සහනයෙන් ඔබ්බට ගොස් ඉන්දියාව සමඟ අත්සන් කළ යුරෝපා සංගම් – ඉන්දියා නිදහස් වෙළඳ ගිවිසුම මෙන් අනාගතයේදී පූර්ණ නිදහස් වෙළඳ ගිවිසුමකට (FTA) එළඹීමට ශ්රී ලංකාවට හැකියාව ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද හෙතෙම ප්රකාශ කර තිබේ. එසේම, ව්යවසායකයන් මුහුණපාන නිලධාරීවාදී බාධක, තත්ත්ව පාලන නිෂ්කාශන ප්රමාදයන් සහ සීමාකාරී විදේශ ආයෝජන සීමාවන් පිළිබඳව ද ඔහු මෙහිදී අවධානය යොමු කර ඇත.
ශ්රී ලංකා – බෙනලුක්ස් ව්යාපාරික කවුන්සිලයේ සභාපති ෆර්හාත් අමිත් (Farhath Amith) මහතා එහිදී සඳහන් කර ඇත්තේ ශ්රී ලංකාවේ ජී.එස්.පී. ප්ලස් තත්ත්වය තවත් වසර පහකින් දීර්ඝ කර ගැනීම සඳහා බෙනලුක්ස් කලාපයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන බවයි. පුනර්ජනනීය බලශක්තිය, මල් වගාව, කෘෂිකර්මාන්තය, පරිසර සංචාරක ව්යාපාරය, පොල් කර්මාන්තය සහ සෞඛ්ය සේවා වැනි ක්ෂේත්රවල සහයෝගීතාව වර්ධනය කරගත යුතු බව ඔහු අවධාරණය කළේය. මෙහිදී ෆැනම් ඉන්ටර්නැෂනල් (Fanam International) ආයතනයේ අධ්යක්ෂ ෆර්හාත් අමිත් මහතා 2026/2027 වර්ෂය සඳහා ද යළි සභාපතිවරයා ලෙස තේරී පත්වූ අතර, ස්පිල්බර්ග් හෝල්ඩින්ග්ස් හි ෂාමීල් මොහිදීන් මහතා ජ්යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙසත්, විනු ඉන්ටර්නැෂනල් ට්රේඩින් කම්පැනි හි පී.එම්. අබේසේකර මහතා උප සභාපතිවරයා ලෙසත් පත්වූහ.
















