ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් ඒකාධිපති පාලනයක් කරා ගමන් කිරීමට රජය දරන උත්සාහය සහ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ලබන සතියේදී ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත නිල වශයෙන් පැමිණිලි කරන බව ‘බහුජන බලය’ සංවිධානයේ මිලින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, එයාර් බස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම දේශපාලන පළිගැනීමක් බවයි. විපක්ෂයේ දේශපාලන නායකයන් මර්දනය කිරීමේ වැඩපිළිවෙළක් යටතේ සජිත් ප්‍රේමදාස සහ දිලිත් ජයවීර යන මහත්වරුන්ට ද මෙවැනිම අසාධාරණ බලපෑම් එල්ල වෙමින් පවතින බවත්, ලබන සඳුදා ආරම්භ වන ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට සමගාමීව අඟහරුවාදා දිනයේදී ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වය සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන බලපෑම් පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.














