තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුර වැලිපරයක අතරමංව සිටි පිරිසක් ආරක්ෂිතව මුදාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වී තිබේ. දකුණු ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ ඇති බවට සැක කෙරෙන මෙම පිරිස අතරට එක් පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් සිව්දෙනෙකු සහ අවුරුදු 02ත් 14ත් අතර වයස්වල පසුවන දරුවන් තිදෙනෙකු ඇතුළත් වන බව නාවික හමුදාව සඳහන් කරයි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පිරිස ඉන්දියාවේ අනෛයූර් සහ ඔක්කූර් වන සරණාගත කඳවුරුවල සිට රාමේෂ්වරම් හරහා පැමිණ ඇති බවයි. පීඩාවට පත්ව සිටි මෙම පිරිසට අවශ්‍ය පානීය ජලය, ආහාර සහ තාවකාලික නවාතැන් පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති අතර, ඉදිරි නීතිමය හා පරිපාලන කටයුතු සඳහා ඔවුන් අදාළ බලධාරීන් වෙත භාරදීමට නියමිතය.


















